Thursday, August 29, 2013

බංග්ලාදේශ හිමි නම ඝාතනයට සිව්දෙනෙක් අල්ලයි.

රාජගිරිය - වැලිකඩ - කලපලූවාව ශ‍්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩවිසූ බංග්ලාදේශ ජාතික හිමිනම පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. එම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ සිදුකිරීම සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් පත්කර ඇති බවද නුගේගොඩ ප‍්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප‍්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළා. මීට අමතරව විහාරස්ථානය අවට පදිංචිකරුවන් කිහිපදෙනෙකුගෙන්ම ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ.


පසුගිය 20 වැනිදා රාති‍්‍රයේ වැලිකඩ - කළපළුවාව ශ‍්‍රී සුදර්ශනාරාම විහාරථානයට කඩාවැදුනු කිසියම් පිරිසක් මිල්ටන් බරුවා නැමති මෙම බංග්ලාදේශ ජාතික හිමිනමට පහරදී තිබූ අතර පසුව උන්වහන්සේ අසාධ්‍ය තත්ත්වයෙන් ප‍්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කළා. ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලැබූ හිමි නම ඊයේ අලූයම අපවත්වුණා.


එම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උඩුවිටියේ අනුරුද්ධ හිමියන් හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම හිමි නම මීට මාස කිහිපයකට පමණ පෙර විහාරස්ථානයේ රැඳී සිට පිටව ගිය බවයි. නීත්‍යානුකූල අවසරයක් නැතත් වරින්වර අවස්ථා ගණනාවකදීම උන් වහන්සේ විහාරස්ථානයට පැමිණි බවත් එසේ පැමිණ සිටි අවස්ථාවක මෙම හිමිනම පහරදීමට ලක්ව ඇති බවත් විහාරාධිපති හිමියන් කියා සිටියා.

0 comments:

Post a Comment

 
Google Analytics Alternative